කැසඹෑ වත (මං සහ මං ගැන) - III කොටස

III වන කොටස



කැසඹෑවෙකු සතු ශක්තිය, ගොඩබිම සහ මහ මුහුද යන එකිනෙකට පරස්පර වූ මූල ශක්තීන්ගෙන් සුසංගත වූ මනා මුසුවකි. නැතහොත් එය හැඟීම් සහ තාර්කිකත්වය යන දෙකොට්ටාශයෙහිම සංකළනයකි. හදවත සහ බුද්ධියෙහි සුශික්‍ෂිත සමාදානයකි. ජලයේ බොහෝ කාලයක් ගත කළ ද බිත්තර දැමීම සඳහා කැසඹෑවුන් වෙරළ කරා ඇදෙති. මෙයින් සංකේතවත් කෙරෙන්නේ කැසඹෑවාට මෙන්ම අපටද නව ඇරඹුම් සඳහා ප්‍රවේශයන් ලබා ගැනීමට නම් අපට හුරු පුරුදු පරිසරයෙන් ඔබ්බට පිවිසීමට සිදුවන බවයි. එහිදී හදවතෙහි සහ බුද්ධියෙහි සුශික්‍ෂිත සමාදානයේ වැදගත් කමයි. කැසඹෑවකුගේ මෙම ජීවන චක්‍රය අපට හදවත සහ බුද්ධිය අතර මනා සංතුලනයක් ගොඩනංවා ගැනීම සඳහා අගනා පිටුබලයක් ලබාදෙයි.  

   
සිය හැඟීම් බාහිරට ප්‍රකට නොකළද කැසඹෑ මිනිසුන් යනු ඉතා ගැඹුරු සිතිවිලි වලින් හෙබි පුද්ගලයන් පිරිසක් වේ. මොවුහු බොහෝ විට තමා තුළට නැමුණු සිතිවිලි සහිත වූවන් වන අතර ලජ්ජා ශීලී හුදෙකලා චරිත වෙති. මොවුන්ට තවත් පුද්ගලයෙකු කෙරෙහි විශ්වාසය තැබීමට සෑහෙන කාලයක් අවශ්‍ය වේ. එමෙන්ම අතීතයේදී යම් දුක්බර අත්දැකීමකට ගොදුරු වූවෝ නම් තත්ත්වය වඩාත් උග්‍ර වේ. කැසඹෑවෙකු සතු දෘඩ බාහිර ආවරණය මෙන්ම මෘදු ඇතුළාන්තය සහිත නිර්මිතය යම් සේ ද, කැසඹෑ මිනිසුන්, හුදෙකලා නිහඬ එහෙත් දැඩි බාහිර ස්වරූපයක් පෙන්නුම් කළ ද, ඇතුළතින් අත්‍යන්තයෙන්ම වඩාත් මෘදු බවක් දරන්නෝ වෙති. මෙම කැසඹෑ මිනිසුන් හට තමා වටකර දැඩි බාහිර ආවරණයක් පැවතීමේ අවශ්‍යතාවය තදින් දැනේ. ජීවිතයේ ඔවුන් ලද යම් යම් අභියෝගයන් පවතියි නම් ඔවුහු ඒවා කිසිකලෙකත් ලෙහෙසියෙන් අමතක නොකරති.

කැසඹෑවුනගේ බිත්තර පුපුරා ගොස් උපදින කුඩා කැසඹෑ පැටවුන් උපන් වහාම හැකි පමණ ඉක්මනින් මහ මුහුද වෙතට ගමන් කරති. ඒ යන ගමන පුරාවටම බිළිඳු කැසඹෑවකුගේ ළපටි මාංශයට ලොල් වූ ගොදුරු සොයන්නෝ අපමණ වෙති. කැසඹෑ මවද බිජු වට වහා ඒවා සාගර වැල්ලෙහි සඟවා නැවත සයුර බලා ඇදී ගොස් බොහෝ කල්ය. මේ බිළිඳු කැසඹෑවුන් සතු එකම ආරක්‍ෂක ආවරණය ඔවුනු සතු කුඩා පිටකටුව පමණක්මය. ගොදුරු සොයන්නවුන්ගෙන් ගැලවීමට එයද එතරම් ප්‍රමාණවත් වේ යැයි කිව නොහැකිය. මන්ද, කැසඹෑ බිජු පුපුරා සාගර වෙරළ සිපගත් බිළිඳු කැසඹෑවුන් අපමණ වුවද ඉන් සාගර ජලය තුල කිමිද දිවි සරි කරගැනීමට වරම් ලබන්නේ අතළොස්සක් පමණක් බැවිනි. සැබැවින්ම ළදරු වියෙන් නික්ම ගොස් වැඩුණු කැසඹෑවකු වීමට වරම් ලබනුයේ එයිනුත් ඉතාමත් සුළු ප්‍රතිශතයක් පමණි. මේ අයුරින්ම කැසඹෑ මිනිසුන් ද ඔවුන් ලොවට බිහිව කෙටි කලෙකින්ම ලොවෙහිම ගොදුරු බවට පත්වීමේ මහත් වූ අවදානමකට නිසැකවම නිරාවරණය වෙති. හැදී වැඩී වැඩුණු මිනිසෙකු බවට පත්වීමේදී ජීවිතයත් මරණයත් අතර සීමා ඉර නොපෙ‍ණෙන අසීමිත ලෙස අවදානම් සහගත අභියෝගයන් රැසකටද මුහුණ පෑමට සිදුවීම අනිවාර්ය සංසිද්ධියකි.


(මතු සබඳී . .)

Comments

Popular posts from this blog

අනිමිස ලෝචනය - කෘතගුණ සැළකීම - “නියතයි ලබනු නියත විවරණ“ !

අදරැති දියණි දෙටු . . .

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”