කැසඹෑ වත (මං සහ මං ගැන) - II කොටස

II වන කොටස



කැසඹෑ මිනිසුනගේ නිවහන, නවාතැන්පල වනුයේ ඔවුන් මේ මොහොතේදී ගතකරන්නාවූ ජීවිතයයි. එමෙන්ම ඔවුනට වඩාත් වැදගත් වනුයේද එම අනවරත දිවි ගමනම මිස ගමනාන්තය නොවේ. කැසඹෑ මිනිසුනගේ වර්තමාන මොහොතේ දිවි ගෙවීම, නොයෙක් අරමුණු හා ඉලක්ක නිර්‍මාණය කරගනිමින් ඒවා පසුපස හඹායාම හා ඒවා අත්පත් කරගැනීම සඳහා අනවරත අරගලයක නිරතවන මිනිසුනට, ඔවුනගේ අභ්‍යන්තර දාහය, විඩාව නිවා සනහාලන මහඟු දිව ඔසුවක්ම වනු ඇත.

මෙම දිවඔසුව කැසඹෑ මිනිසෙකුගේ දිවිසරියෙන් වඩාත් ඔපවත් වන අතර එය නැවත නැවතත් පසක් කර දෙන්නේ විඩාබර මිනිසුන් විසින් නිරන්තරයෙන් හා අනවරතව හඹායන නිරර්ථක අරමුණු සහ ඉලක්ක වලින් මඳක් ඉසිඹු ගෙන දැනටමත් ඔවුන් සිටින ආස්ථානය කෙබඳු දැයි නිවී සැනසිල්ලේ සිතා බැලිය යුතු බවය. අද ඔබ වෙහෙසෙන, පෙළෙන හා පීඩා ගෙනදෙන ඉලක්ක හා අරමුණු හඹා යාම, පුරුද්දකින් මෙන් ඔබ විසින්ම සිදුකෙරෙන්නේ ඔබ එසේ සිදුකළ යුතුම යැයි යම් අයෙක්/පිරිසක් හෝ සමාජ ස්ථරයක් විසින් අපේක්‍ෂා කෙරෙන/කරන නිසා හා/හෝ බලපෑම් කෙරෙන/කරන නිසා විය හැකිය. ඇතැම් විට ඔබ තුළ එම අරමුණු හා ඉලක්ක අත්පත්කරගැනීමට වඩා වෙනස් වූ යමක් කිරීමටද කැමැත්තක් තිබිය හැකිය. එබඳු අවස්ථාවක, දිය මතින් මතුවන කැසඹෑවා ඔබට මතක් කර දෙන්නේ, ජීවන සයුරේ දිය රළ මත මොහොතක් නිස්කලංකව පාවී පාවී හිඳ, ඒ දෙස බලා හිඳිනා ලෙසයි. ඇතැම්විට ඒ නොතකා වේගවත්ව පිහිනීම තුළ ඔබ අසලම පොපියමින් පවතින පරිසමාප්තිය, නිෂ්ඨාව, නිවීම ඔබටම මඟහැරේ, සැළකිල්ලට ලක් නොවේ, ඒ මතු දු නොව ඔබ ඒවා ද පසුකරමින් මහා කළබලයකින් යුතුව දිගින් දිගටම පිහිනමින් සිටියි.

කැසැඹෑ මිනිසුන් මීට වෙනස්ව, තමාම ශාන්තභාවයට පත්වීම සඳහා කාලය ගනිමින්, ජීවන සයුරේ උස් පහත් වීම් තුළින් තමා වෙත පාව එන අවස්ථාවන් මොනවාදැයි නිසලව නිරීක්‍ෂණය කරමින් සිටින්නන් පිරිසක් වේ. ජලය ශාන්තද, එහි ප්‍රවාහය වේගවත්ද නැතහොත් ප්‍රචණ්ඩකාරීව ගලායයිද යනුවෙන් දරාගත නොහැකි තරමේ වූ සැහැල්ලු සුවයෙන් යුතුව නිරීක්‍ෂණය කරන ඔව්හු, නිසංසල දැහැන්ගත ස්වරයෙන් යුතුව පැහැදිළිව සහ පිරිසිදුව ගලාබසිනා අවස්ථාවනදී ජීවන දියදහර වෙත පිවිසෙන්නට අවැසි වූ වෙසෙසි නමුත් සහජ සහ නිසඟ එමෙන්ම වඩාත් ඉහළ වූ අන්තර් ඥානයකින් සමන්විතය.   
(මතු සබඳී . .)

Comments

Popular posts from this blog

අනිමිස ලෝචනය - කෘතගුණ සැළකීම - “නියතයි ලබනු නියත විවරණ“ !

අදරැති දියණි දෙටු . . .

“ මරණය තේරුම් නොගෙන, ජීවිතය තේරුම් ගත නොහැකිය - 1 ”