ඔව් දැන් ඔබ මෙසේ අසාවි . .
" ඔබ උම්මත්තකයකු වූයේ ඇයි ? "
හා . . මා ඔබට කියන්නම්, ඒ මෙසේයි ;
මා උමතු බවට පත් වූයේ කෙසේ දැයි නුඹ මගෙන් විමසන්නෙහිය. මා උමතු බවට පත් වූයේ මේ ආකාරයටය:
බොහෝ දෙවිවරු උපදින්නටත් බොහෝ කලකට පෙර දිනක් මම, මහා ගැඹුරු නිද්රාවකින් අවදි වෙද්දී මගේ වෙස්මුහුණු සියල්ල ම සොරකම් කර තිබුණු බව දුටිමි. ඒවා නම් භවයන් හතක් තිස්සේ මවිසින් සකසා දරා ගෙන සිටියා වූ වෙස්මුහුණු හත විය. එකල් හි මම වෙස්මුහුණින් තොරව දිවි මං තලාවේ කලබලයෙන් කෑ ගසමින් දිව ගියෙමි:
“හොරු එනවෝ ! හොරු එනවෝ ! සාපලත් හොරු එනවෝ !”
ස්ත්රීහු හා පුරුෂයෝ මට සිනාසුනහ. බියට පත්වූ සමහරු සිය නිවාස කරා දිව ගියහ.
මා වෙළදාම්පොළ පැවැත්වෙන ස්ථානයට පැමිණි කල් හි, තරුණයෙක්, නිවසක වහල මතට වී නැඟී සිටිමින් මෙසේ කෑ ගැසුවේ ය:
“මෙන්න පිස්සෙක්, මෙන්න පිස්සෙක් !”
මම ඔහු දකිනු පිණිස හිස එසවීමි. පළමුවන වතාවට මගේ නිරාවරණ මුහුණ මත හිරු රැස් පැතිරුණේ ය. පළමුවන වතාවට සූර්යයා මගේ අනාවරිත මුහුණ සිප ගත් කල් හි මගේ ආත්මය සූර්යයා කෙරෙහි උපන් සෙනෙහසින් ගිනි ගත්තේ ය. එවිට තව දුරටත් මට වෙස්මුහුණු වුවමනා නො වීය. ප්රහර්ෂයට පත් වූ කලෙක මෙන් මම කෑ ගැසුවෙමි:
“මගේ වෙස්මුහුණු සොරාගත් පිරිසට ආශිර්වාද වේවා!”
මා උම්මත්තකයකු බවට පත්වූයේ ඒ ආකාරයෙනි.
මගේ උමතුකම තුළ මම මගේ නිදහස සහ මගේ ආරක්ෂාව යන දෙක ම එකවර සොයා ගතිමි. හුදකලාවේ සිටීමේ නිදහස සහ මා වටහා ගනු නො ලැබීම නිසා ලැබෙන ආරක්ෂාව යන දෙකයි ඒ. මන්දයත්, අප ව වටහා ගන්නා තැනැත්තෝ, යම් ආකාරයකින් අප ව වහල් භාවයට පත්කර ගනිති.
නමුත් මගේ ආරක්ෂාව හේතුවෙන් ආඩම්බර නො වී සිටීමට මට ඉඩ දෙන්න! දඟගෙයි සිටින සොරකු පවා වෙනත් හොරකු කෙරෙන් ආරක්ෂා වන්නේ ය.
(Le Fou – Khalil Gibran, උම්මත්තකයා පරිවර්තනය- මණ්ඩාවල පඤ්ඤාවංස හිමි)
ඔබගේ මුහුණ හිරු රැසට නිරාවරණය කරන්න, අපි වෙස්මුහුණු ගිනි තබමු.


Comments
Post a Comment