අඩි සද්ද . .
අඩි සද්ද . .
ඔයා අහල තියෙනවද අඩිසද්ද
බරැති බූට් අඩිසද්ද
බරනැති සෙරෙප්පු අඩිසද්ද
බරැති-බරනැති සපත්තු අඩිසද්ද
මයෙ ටිකිරි මැණිකෙ එතකොට පොඩි ළමයෙක්
තිස්වසකට එපිට
හැමදාම රෑ ගේ පිළිකණුවල වැට අද්දර
නිතර දෙවේලේ කළා හොල්මන්
අනීතික මරණ වරෙන්තු රැගෙන
ඇත්තමයි බල්ලෙක්වත් බිරුවෙ නෑ
අපිට වැඩිය උන් දැනන් හිටිය කොයි බල්ලත් එක බව
මුරබල්ලො දඩබල්ලො හා පරබල්ලො
මුරබල්ලො බූට් දැම්මා
දඩබල්ලො දැම්මෙ සෙරෙප්පු
එතකොට පිස්සු හැදිච්චි පරබල්ලො
උන් සපත්තු
බූට් එකෙන් සෙරෙප්පුවෙන් සපත්තුවෙන්
ඔය කෝකෙන් ආවත් ආවෙ මරණ්යේ ජඩ හඬ
ලේ වල ඇඹුල් ගඳ
ගෞරවනීය මරණයක් හිමිවුනේ නෑ කාටවත්ම
බල්ලො බළල්ලු ගානට පාරවල්වල
හන්දිවල වෙලේ කමතෙ පිච්චිලා ගියා දුසිම් ගානට
හප්පා ඒ පුලුටු ගඳ . .
ඒ පුළුටු ගඳට කෙළ හලන
මළ පෙරේත පර හැත්ත ඉන්න්ව තවත්
උතුරෙ දකුණෙ නැගෙනහිර බටහිර
ඔය කොයි අස්සක මුල්ලකත්
වැඩියත්ම දෙස්පල් වේදිකාවෙ
ටිකිරි මැණිකෙ ඒ දවස්වල පොඩි ළමයෙක්
මමත් මහලොකු එකෙක් නෙමෙයි
ටිකිරි මැණිකෙට 7 ක් 8 ක් ඇති
මටත් 13 ක් 14 ක්
හැබැයි මට මතක තිබ්බ
අදටත් මට පොඩිම සද්දෙකටත් ඇහැරෙනව
මට විසඳ ගන්න බැරිව හිටිය දෙයක් දැන් විසඳීගෙන එනව
මේ ලියන මේ මොහොතෙ
මතක ඇතිකාලෙක ඉඳල මට රෑ 2 ට විතර හැමදාම ඇහැරෙනව
ඒ වෙලවෙ ඉඳල පැයක් හමාරක් තමයි මම ටිකිරි මැණිකෙට ලියන්නෙ
පොතක් පතක් බලන්නෙ, තවමොනවහරි කුරුටුගාන්නෙ
පොඩ්ඩක් හිත එකඟ කරගෙන භාවනා කරන්න, රිලැක්ස් මූඩ් ඉන්න පවිච්චි කරන්නෙ
ප්රරශ්නයක්ව තිබුණ
මේ විදියට හැමදෑම 2 ට විතර ඇහැරෙන්නෙ ඇයි කියන එක
දැන් මේ මොහොත වෙනකම්ම
ඒ ඇයි දන්නවද
මම අර කිව්ව මරණයේ ජඩ හඬ
බරැති බරනැති බරැති-නැති අඩි සද්ද එන්නෙ
හැමදාම රෑ දෙකට විතර ඒ දවස්වල
ඔව්, තිස්වසකට එපිට
ඉතිං එහෙමයි , දැනුත් පාන්දර තුනයි
මට ඒ සක්මන් කරන මරණයේ අඩි සද්දවල
දෝංකාරය ඇහෙනව ඇහෙනව වගෙයි
බරැති බූට් අඩිසද්ද
බරනැති සෙරෙප්පු අඩිසද්ද
බරැති-නැති සපත්තු අඩිසද්ද
අඩිසද්ද . . අඩිසද්ද . .
ඔය ඔය . .
ඇහෙනවද ඒ
බියකරු මරණයේ
ගොරහැඬි අඩිසද්ද . .

Comments
Post a Comment