මයෙ ටිකිරි මැණිකේ . .
මයෙ ටිකිරි මැණිකේ . .
ඇත්තටම මං ගල්වෙලා වගෙයි
කිසිම හිතුවිල්ලක් හිතට එන්නේ නෑ
එකම එක හිතුවිල්ලකම විතරක් හිත හිරවෙලා
ගල් ගැහිලා හිත මිදිලා
ඒ හීතල දුරුත්තට නම් නෙමෙයි
උණුහුමට . .
මයෙ ටිකිරි මැණිකෙ ගැන තියෙන
පුංචිම පුංචි මතකයන්වල උණුහුමට
මගෙ ඒ ඉල්ලීම ගැන
ටිකිරි මැණිකෙගෙ මේ නිහඬබව
මට වාවන්නේ නෑ මයෙ ටිකිරි මැණිකෙ
මගෙ හිත මැරිල නිසා, මං වෙනුවෙන් ඔයා ගැන හිතපු
දෙන්නෙක්ව මං දැක්කා, ඒ මගේම හිතුවිලි . .
මං ඒවා ඔයාට එවන්නම්
මං ඒ අයවවත් ඒ අය මාවවත් දන්නේ නෑ
ඒත්
ඒ අය මං තුළත්, මං ඒ අය තුළත් පැවතෙනවා කියලා
මං දන්නවා
අපි හැමෝම, අපි හැමෝම තුළ ඉන්නව
ඔයයි මමයි දන්නවා, අඳුනනව
ඒ වගෙම මං තුළ ඔයත්, ඔයා තුළ මමත් ජීවත් වෙනවා
ඒක වරදක් නෙමෙයි, එහෙමයි කියල ඔයා දන්නවා
ඒ උනාට මයෙ ටිකිරි මැණිකෙ ඒක පිළිගන්න බයයි
බාගෙවිට එහෙම හරි ඇති
මට වගෙ නෙමෙයි මයෙ ටිකිරි මැණිකෙට
වගවීම්, වගකීම්, බැඳීම් මහ ගොඩක් තියෙනවා
ඒත් මට හිතෙන්නෙ
තමන්ගෙ හිත නිදහස් නම් ඒ
වගවීම්, වගකීම්, බැඳීම් මහ ගොඩ
හුඟක් සාර්ථකව ඉටු කරන්න පුළුවන් කියල
ඔය හිත නිදහස් කරගන්ට මයෙ අම්මා . .
Comments
Post a Comment